සවස පහේ මායාවෙන් උදෑසන අටේ Deadline වලට…. Cartoon අපිට කියාදුන් ජීවිතය!

ඉස්සර අපේ සතියේ තිබුණු ලොකුම ප්‍රශ්නය වුණේ හවස පහ වෙද්දි ටීවී එක ඉස්සරහට යන්න බැරි වෙන එක. ඉස්කෝලේ බෑග් එක සාලේ පුටුව උඩට විසි කරලා, අම්මා හදලා දෙන උණුම උණු තේ එකයි, පොඟවල කන්න බිස්කට් පැකට් එකකුයි අතට අරන්, පරණ බර CRT ටෙලිවිෂන් පෙට්ටිය ඉස්සරහා බිම වාඩි වෙච්ච ඒ කාලය තරම් නිදහස් තවත් තැනක් අපිට තිබුණේ නැහැ. ඉස්සර ජාතික රූපවාහිනිය, සිරස, ITN කියන්නේ නිකම්ම නිකම් නාලිකා නෙවෙයි; අපිව වෙනම ලෝකයකට අරන් ගිය අපූරු මායා කවුළු.
අද වෙද්දි ඒ දැවැන්ත තිරය අපේ අත්ලට හිර වෙලා. නොනවතින notification සද්ද මැද්දේ, උදේ අටේ lecture එකටයි, එක පිට එක එන project deadlines වලටයි දුවන ජීවිතයක් අපිට ඉතුරු වෙලා. GPA එක පස්සෙයි, වගකීම් පස්සෙයි හතිදාගෙන දුවන මේ මොහොතක, ඒ නොස්ටැල්ජියාව හිත ඇතුළෙන් අවදි වෙන්නේ පුංචි වේදනාවක් එක්ක මුසු වුණු මිහිරි හැඟීමකින්. ආයෙ කවදාවත් නොඑන ඒ සුන්දර අතීතය මතක් වෙද්දි නොදැනුවත්වම වුණත් අපේ හිත මොහොතකට නිශ්ශබ්ද වෙනවා.

හඬකැවීම් පිටුපස සැඟවුණු අපේ මුල්ම ජීවිත පාඩම්
අපි පොඩි කාලේ බලපු ඒ කාටූන් නිකම්ම සිනහවකට සීමා වුණු විනෝදාස්වාදයක් නෙවෙයි. නොදැනුවත්වම ඒවා අපේ ජීවිතේ මුල්ම දර්ශනවාදී පාඩම් අපේ හදවත් වලට කාන්දු කළා.

එදා අපේ හවස් වරු පාට කරපු මතකයන් කොයිතරම්ද? දඟර වලිග ළප වානරගේ වනාන්තරයේ නිදහස, කූඹිච්චිගේ නොසැලෙන උත්සාහය, කඩියයි තඩියයි සහ සූටින් මාටින්ගේ නොනවතින විහිළු තහළු, යකාරි සතුන් එක්ක ගොඩනඟපු අපූරු බැඳීම, ඒ වගේම චණ්ඩි, පැංචා වගේ නම් පෙළක්ම අපේ ළමා කාලය ඇතුළේ ජීවත් වුණා. ඒ හැම කතාවක් ඇතුළෙම තිබුණේ ආදරය, එකමුතුකම සහ අහිංසක හීන විතරයි.
සඳුදා උදේට ඇඳෙන් නැගිටින්න අකමැති, ලසඤ්ඤා(lasagna) කන්න පෙරේතකම් කරපු අපේ කම්මැලි Garfieldව කාටද අමතක වෙන්නේ…. හැමෝම මොකක් හරි තරඟයක දුවද්දි, සෝෆා එකට වෙලා තමන්ට ඕන විදියට කම්මැලි වෙවී ඉන්න එකෙත් පුදුම සතුටක් තියෙනවා කියලා ගාෆීල්ඩ් අපිට පෙන්නුවා. අද assignment deadlines අස්සේ හතිදාද්දි, අපිටත් වෙලාවකට හිතෙන්නේ ලෝකෙම දාලා ගාෆීල්ඩ් වගේ ඇස් පියාගෙන තමන්ගේම සුවපහසු ලෝකෙකට යන්න තිබ්බා නම් කියලා නේද?

Scooby-Doo බලද්දි Mystery Machine වෑන් එකෙන් බැහැපු ෂැගීයි ස්කූබියි බය වෙලා දුවපු හැටි මතක් වෙද්දි අදටත් හිනා යනවා. හැබැයි Scooby gang එක එදා අපිට කියාදුන්නේ කොච්චර ගැඹුරු පාඩමක්ද කියලා ලොකු වෙලා මේ සැබෑ සමාජයට පය තියද්දි තමයි අපිට තේරෙන්නේ… ලෝකේ අපි බය වෙන්න ඕන අද්භූත හොල්මන් වලට නෙවෙයි; මොකද ඒ හැම වෙස්මුහුණක්ම ගලවලා බැලුවම යටින් හිටියේ තණ්හාවෙන් පිරුණු සාමාන්‍ය මිනිස්සුමයි.

අතේ කඩදාසියකින් හරි ප්ලාස්ටික් වලින් හරි හදාගත්ත ඔරලෝසුවක් බැඳගෙන, "It’s Hero Time!" කියලා කෑගහපු ඒ Ben 10 පිස්සුව කාටද අමතක වෙන්නේ? පුංචිම පුංචි පිරිමි ළමයෙක්ට අහම්බෙන් හම්බෙන Omnitrix එකකින් මුළු ලෝකයක් බේරගන්න වගකීම කරට ගද්දි, ඕනෑම අමාරු මොහොතක අපේ ඇතුළේ ඉන්න හයිය එළියට අරන් අභියෝග වලට මුහුණ දෙන්න බෙන් ටෙන් අපේ හිත් වලට පුදුම ගැම්මක් දුන්නා. Heat blast, Four Arms නැත්නම් XLR8 වෙලා ප්‍රශ්න විසඳන්න බැරි වුණත්, අපිට එන හැම challenge එකකටම බය නැතුව මූණ දෙන්න ඒ පොඩි කාලේ හිතට ආපු වීර ගැම්ම අදටත් අපේ කොඳුනාරටිය කෙළින් කරනවා.

ඊළඟට ගල් යුගයේ කාර් එක කකුලෙන් පාගලා දුවපු ගිරිපුර ඇත්තෝ… ඒකෙ බොරළුගෙයි ගල්පාතගෙයි රණ්ඩු කාටද අමතක වෙන්නෙ? හැබැයි අපේ බොරළුයි ගලෙයි දවස තිස්සේ වාද විවාද කරගත්තත්, මොන ප්‍රශ්නේ ආවත් කවදාවත් අත් නොහැර ළඟින් හිටපු විදිය හරිම ආදරණීයයි. "යාළුවෝ කියන්නේ ඔන්න ඔහොමයි" කියලා වචනයක්වත් නොකියා ඒ දෙන්නා අපේ හිත් වලට කාවැද්දුවා. ඉතින් කැම්පස් ජීවිතේ මොන පීඩනය ආවත් ළඟින් ඉඳන් "අපි මේක ගොඩදාමු මචං" කියන සැබෑ යාළුවන්ගේ වටිනාකම තේරෙද්දි අපිට ගිරිපුර ඇත්තෝ නිතැතින්ම මතක් වෙනවා.

කොළ පාට තොප්පියක් දාලා, පිහාටුවක් ගහගෙන ෂර්වුඩ් වනාන්තරයේ ගස් අස්සෙන් පැනපු Robin Hood අපේ පොඩි හිත් වලට ගෙනාවේ පුදුම වීරත්වයක්. කොච්චර බලපුළුවන්කාරයෝ හිටියත්, අසරණ වෙච්ච මිනිස්සු වෙනුවෙන් හයියක් වෙන්න දුන්නයි ඊතලයි තිබ්බම ඇති කියලා රොබින් හුඩ් අපිට පෙන්නුවා. තමන්ට තියෙන දෙයින් තව කෙනෙක්ගේ මූණට හිනාවක් ගේන්න පුළුවන් නම් ඒක තමයි නියම වීරකම කියලා අපි මුලින්ම ඉගෙනගත්තේ එතනින්.

විල්සන් මහත්තයාව පිස්සු වට්ටපු අපේ දඟයා මතක් වෙද්දි අපේම ළමා කාලේ කරපු දඟ වැඩ එකින් එක ඇස් ඉස්සරහා මැවෙනවා. දඟයා කවදාවත් කාටවත් නරකක් කරන්න හිතුවේ නැහැ; එයාට තිබුණේ මුළු ලෝකයම අතපත ගාලා බලන්න තිබුණු අහිංසක කුතුහලයක් විතරයි. වැටි වැටී, දණහිස් තුවාල කරගෙන, ඒත් ආයේ හිනාවෙවී නැගිටපු ඒ අව්‍යාජ ළමා හිත අද අපි හැමෝටම ආයෙත් සැරයක් ණයයි කියලා හිතෙන්නේ නැද්ද?

නැතිවී ගිය ඉවසීමේ සුන්දර කලාව
ඒ කාටූන් අපිට කියාදුන්න වටිනාම ගුණය තමයි "ඉවසීම". අද වගේ 'Next Episode' click කරලා එක රැයකින් කතාවම binge-watch කරන්න එදා තාක්ෂණයක් තිබුණේ නැහැ. කතාව කුතුහලයේ උපරිමයට ඇවිත් නවතිද්දි, ඊළඟ කොටස එනකල් පැය විසිහතරක්, සමහරවිට සතියක්ම බලාගෙන ඉන්න වුණා. හැබැයි ඒ බලාපොරොත්තුව ඇතුළේ ලස්සනක් තිබුණා.
පහුවදා ඉස්කෝලේ interval එකේදි යාළුවෝ වටවෙලා ඊළඟට මොකද වෙන්නේ කියලා කතා කරපු හැටි, අභ්‍යාස පොත් වල අන්තිම පිටුවල ඒ කාටූන් චරිත ඇඳපු හැටි අදටත් මතක් වෙද්දි හිතට ලොකු සතුටක් දැනෙනවා.
හැබැයි අද අපි තත්පර පහළොවේ reels වල instant dopamine එකට හිර වෙලා… කතාවක් ඇතුළේ අතරමං වෙලා ඒ හැඟීම එක්ක හෙමිහිට linger වෙන්න තිබුණු ඉවසීම, මේ endless scrolling trend එක ඇතුළේ අපිට නොදැනීම නැතිවෙලා ගිහින්.
අපේ ඇතුළේ තවමත් හුස්ම ගන්නා ඒ පුංචි ළමයා
ලොකු වෙනවා කියන්නේ ඕනවට වඩා robotic වෙලා, හැඟීම් filter කරගන්න උත්සාහ කරන කෙනෙක් වෙන එකටද? අපි අපේ නිර්මාණශීලී හිත, අව්‍යාජ සිනහව සහ කුතුහලය, ලකුණු සහ career targets පස්සේ දුවන ඉවරයක් නැති තරඟයකට බිලි දීලා ඉවරයි.
ඒත් මේ මතකයන් ආයේ ආයේ මතක් වෙන්නේ හේතුවක් ඇතුවයි. ඒක අපිට කියාදෙනවා අපේ real version එක කොයිතරම් සරලද කියලා. මොනතරම් වගකීම් සහ අභියෝග ඉස්සරහට ආවත්, අපේ ඇතුළේ ඉන්න ඒ හවස පහේ කාටූන් ලෝකයේ හුස්ම ගත්ත අවංක ළමයාව ජීවත් කරවන්න.

"මොකද මොන තරම් ලොකු වුණත්, අපිව සැබෑ මිනිස්සු විදියට තියාගන්න පුළුවන් හොඳම මතක බෙහෙත තමයි ඒක.”