අළු සහ වෙස් මුහුණු..
මෙලොව පවතින සොබාදහමෙන් තිළිණ වූ බොහෝ වස්තූන් හට නියමිත වර්ණයක් ඇත. නැතිනම් ලෝකයා විසින් ඒවාට වර්ණ ගලපා ඇත. ඒ අනුව අහස නිල් පැහැතිය. ගස්කොළන් කොළ පැහැතිය. රෝස මල් නම් රතු පැහැතිය. හිරු කහ පැහැතිය. එවිට සොබාදහමේ විස්මිතම නිමැවුමක් වූ මිනිසාගේ පැහැය කුමක්ද?


මට අනුව නම් සියලු මිනිසුන් අළු පැහැතිය. එහිලා මිනිසාගේ පැහැය තීරණය වනුයේ ඔවුන්ගේ සමේ වර්ණය අනුව නොව ඔවුන්ගේ ඇතුළාන්තය මතය. එසේ නම් එකිනෙකට කිසි විටෙකත් සමාන නොවන මිනිසුන් සිටින ලොවක ඔවුන් හැමටම එකම වර්ණයක් හිමි වන්නේ කෙසේදැයි ඔබ සිතනවා විය හැක.සත්‍ය නම් අළු පැහැය වුව විවධත්වයෙන් යුතු වීමය. අළු පැහැය සුදු හා කළු වර්ණයන්ගේ සංකලනයෙන් ඇති වන්නකි. එහිලා සුදු හා කළු එකිනෙක මිශ්‍ර වන අනුපාතය අනුව අළු වර්ණය තද හෝ ලා පැහැයක් ගනීද යන්න තීරණය වේ. එබැවින් අළු පැහැය තරමට මිනිසාට උචිත වර්ණයක් ඇතැයි මම නොසිතමි.
මෙහිදී වඩා වැදගත් වනුයේ අළු පැහැය නොව එය නිර්මාණයෙහි දායක වන සුදු හා කළු පැහැයන් ය.සුදු නම් මිනිසෙකු සතු යහපත් ක්‍රියාවන් හා සිතුවිලිය. එසේම කළු පැහැය නම් මිනිසෙකු සතු අයහපත් ක්‍රියාවන් සහ සිතුවිලිය.එවිට මිනිසාගේ අළු පැහැය තීරණය වනුයේ ඔහු හෝ ඇය සතු යහපත් හා අයහපත් ක්‍රියාවන් මත නොවේද? සත්‍ය නම් මෙලොව මිනිස් වාසයක් ඇරඹුණු දින සිය මේ දක්වාත් අනාගතයේදීත් ඔබට මට අළු නොවන සම්පූර්ණයෙන් සුදු හෝ කළු මිනිසුන් දැක ගත නොහැකි වීමය. මෙලොව කිසිතැනකුදු සියල්ල යහපත් යැයි හෝ සියල්ල අයහපත් යැයි කිව හැකි මිනිසුන් හමු නොවීමය.


මිනිසුන් විසින් යහපත්ම යැයි සලකන තවත් මිනිසකු තුළ පවා කුඩා හෝ කළු පැහැයක් තැවරී ඇත.එසේම සමාජය විසින් දුර්ජනයෙක් යැයි හංවඩු ගසන,ප්‍රතික්ෂේප කරන මිනිසුන්ගේ වුව කුඩා හෝ සුදු පැහැයක් ගැල්වී ඇත. එවිට ඔහුට ද අළු වර්ණයක් හිමිය. එසේ නම් සුදු කළු සංකලනය කුමක් වුව අවසානයේ සියලු මිනිසුන් අළු පැහැති වෙනවා නොවෙ ද?
තවද මිනිසා අළු පැහැති වනවා සේම වෙස් මුහුණු ද පළඳිති. එහිදී වෙස් මුහුණක් යනු සැබෑ මුහුණ ලොවට සඟවන, ඇතුළාන්තයෙහි නොමති ස්වරූපයක් ලොවට පෙන්වන අපූර්ව කලා නිමැවුමකි.නමුත් එය කලා නිමැවුමක්ම නොව මිනිසාගේ සැබෑ ස්වරූපයේ ආභාෂයෙන් නිම වූ වස්තුවක් යැයි මට සිතේ. මන්ද මිනිසුන් වන අප සැවොම එදිනෙදා දිවියේ දී විවිධ වෙස් මුහුණු පළඳින බැවිනි.එම වෙස් මුහුණු පිටතට නිරාවරණය නොවන ,ඔවුනොවුන්ගේ හෘද සාක්ෂිය පමණක් දකිනා විවිධ ස්වරූපයන්ගෙන් යුක්තය.සරලවම කිවතොත් ලොවට අදෘශ්‍යමාන ය. එසේම ඒවාට නිශ්චිත හැඩයක් හෝ වර්ණයක් ද නොමැත. නමුත් දුක,සතුට,සුවපහසුව වැනි හැඟීම්වලින් පරිපූර්ණය.නමුත් ගැටලුව නම් මිනිසා හට වෙස් මුහුණු අවැසි කුමට ද?


අප සජීවී මිනිසෙකු ලෙස ලොවට සමාජයට පිවිසෙන විට අපට දිනකට හමුවන මිනිසුන් ගණන ගැනිය නොහැකි තරම් ය. ඔවුන් කෙරෙහි අප සතුවන රුචිකත්වයන්ද එකිනෙකට සම නැත. නමුත් මෙලොව මිනිසෙකු ලෙස වාසය කිරීමට නම් ඒ සියල්ලන් සමඟම මුහු විය යුතුමය. ගනුදෙනු කළ යුතුමය. මන්ද මිනිසා ඉපිද ඇත්තේ හුදකලා වාසයකට නොවන බැවිනි. එවිට එම සම්මුඛ විම් වලදී අපගේ සැබෑ ස්වරූපයන් සඟවා ගනු වස් අපි වෙස් මුහුණු පළඳිති. අප අකමැති නමුත් ගනුදෙනු කළ යුතු මිනිසුන් ඉදිරියේ සුවපහසු වෙස් මුහුණු මෙන්ම කැමති මිනිසුන් ඉදිරියේ වුව විවිධත්වයෙන් යුත් වෙස් මුහුණු පැළඳීමට අප සමත් වේ.
පොතක් පිටකවරයෙන් මැනීමට නොහැකි සේම මිනිසා ද බාහිර ස්වරූපයෙන් මැනිය නොහැකි බව පවසන්නේ එබැවිනි. මන්ද මිනිසා යනු වෙස් මුහුණු පළඳින්නෙකි. තම සැබෑ ස්වරූපය ලොවට නිරාවරණය නොකරන්නෙකි. තම ඇතුළාන්තයෙහි නොමැති හැඟුම් වෙස් මුහුණකට මුවා වී ලොවට නිරාවරණය කරන්නෙකි. එහිලා සත්‍ය නම් ඔබ යමෙකුව පරිපූර්ණ වශයෙන් දන්නේ යැයි සිතන මොහොතක පවා ඔබ ඔහු හෝ ඇය ගැන දන්නා ප්‍රමාණය කුඩා වීමය. නොදන්නා ප්‍රමාණය විශාල වීමය. ඇත්තෙන්ම මිනිසෙකු තම සැබෑ ස්වරූපය පෙන්වන්නේ එහෙමත් වෙලාවකය.තමාට වඩාත්ම විශ්වාසවන්ත හා ආදරණීය මිනිසුන් ඉදිරිපිටදීය. එය එක්තරා ආකාරයක ඛේදවාචකයක් වන්නේද එබැවිනි. මන්ද බාහිර ස්වරූපයෙන් අප දකින හා හඳුනන පුද්ගලයා ඇත්තෙන්ම ඇතුළතින් වෙනස් පුද්ගලයෙකු විය හැකි බැවිනි.



එබැවින් අවසන මෙසේ පවසමි. අප ජීවත් වන කාලපරාසය තුළ හමුවන් මිනිසුන් විනිශ්චය කිරීමට මෙන්ම ජීවිතයට ළං කරගැනීමටද අප ඉක්මන් විය යුතු නැත. කලබල විය යුතු ද නැත. මන්ද මිනිසුන් යනු අළු පැහැති වෙස් මුහුණු පැළඳ සිටින්නන් වන බැවිනි.



