ජීවිත කාලයක් දරාගත් හදවත

Blogged Bliss Sep 29, 2026

"මේ ලොව ලස්සනම අහස ඇත්තේ මගේ ගමට ඉහළිනි.

අම්මා නිදන තැන

ඇගේ සොහොනට උඩිනි.." - රත්න ශ්‍රී.

ගිය සතියේ ලෙඩ වෙලා ඇඳටම වෙලා හිටපු දවස් 9, ආයෙත් අතීතය ගැන වගේම අනාගතය ගැන හිතන්න ඉඩක් දුන්න වර්තමානයක් වුණා.

ගොඩක් වෙලාවට අම්මා ගැන ලියවෙච්ච හොඳම සිංදුව මොකක්ද කියන එක විවාද කරන්නෙවත් නැත්තේ මොන සිංදුවෙන් වුනත් ලියවිලා තියෙන්නේ අම්මා ගැන ඇත්ත නම් එතැන ආයෙම විවාදයක් ඕන නැති නිසා වෙන්නෝන.

සමහරක් H.R.ජෝතිපාලගේ "මේ ජීවනයේ.." අහද්දි,තවත් කට්ටියක් වික්ටර් රත්නායකගේ "ආදරයේ උල්පත.." ඇහුවා. නිහාල් නෙල්සන්ගේ "කරුණා සුවඳ.." ඩෙස්මන්ඩ් ගේ "මතකයි අම්මේ ඔබ දරු නැලවිල්ල" පස්සේ කාලේ රූකාන්තගේ "උකුලට නාවත්.." වෙනකම් විකාශය වෙලා 6th Lane ලාගේ "අම්මේ ඔබ මගේ රැජිණයි.." වෙනකම් ගලාගෙන ඇවිත් තියෙන්නේ..

ඒත් මට දැනෙන තේරෙන සීමාවේ අම්මා කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා ලියවිලා තියෙන හොඳම සිංදුව ලූෂන් බුලත්සිංහල ලියලා H.M.ජයවර්ධන සංගීතය හදලා මාලිනි බුලත්සිංහල කියන;

"රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ...." සිංදුව.

සිංදුව අහද්දි ඒකේ තියන ඔක්කොම නැතත් සමහර සිද්ධි මගේ,අපි හැමෝගෙම ගෙදර අතීතය එක්ක 100%ක්ම වගේ ගැළපෙනවා. අපිත් පොඩි කාලේ කොච්චර දේවල් අම්මලාගෙන් ඉල්ලන්නැද්ද සල්ලි ඕන කියලා ඒ දේවල් ගන්න කියන දේ දන්නෙ නැතිව, ඒ වෙලේ කොයි වගේ වේදනාවක් දැනුන ද කියන එක දන්නේ ඒ අම්මලාම මිස ඒ පොඩි කාලේ හිටපු මම, අපි නෙවි. අපිට අලුත් ඇඳුම් මහලා එයාල කාලයක් එකම ඇඳුම පාවිච්චි කරන්නැද්ද? අපිට අලුත් ඇඳුම් අන්දලා ලස්සන බලද්දි කොච්චර සතුටකින් ඉන්නැතිද? අපි රජ මැදුරු වල ඉපදුණේ නැති වුණාට අපි ඉපදුණ තැන රජ මැදුරක් කරන්න කොච්චර මහන්සි වෙන්නැතිද?

ගිය දවස් 9ට තේරුණ දේ තමා අම්මලා අපිව මාස දහයක් නෙවි ජීවිත කාලයක් වුනත් අපිව දරාගෙන ඉන්න පුළුවන් හිත හයිය රූස්ස ගස්, ඒ පරම්පරාවෙන් පස්සේ අපේ එන පරම්පරා කොච්චර ආවත් ඒ කරන කැපකිරීම් වලින් 1% ක්වත් කරන්න බෑ අපිට, අපිට වඩා ඒ අතින් ඒ පරම්පරා ගව් ගාණක් ඈතින්.

සිංදුව අහලා බලන්න.

Tags

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.