කිල්ල
වීරඹු හේනයා මාර ගහ යට නැවතෙමින් හති අරින්නට පටන් ගත්තේය. පුරුද්දට මෙන් හිස උඩ තිබූ රෙදි පොට්ටනිය ගස් කොටේ උඩ තැබූ හේනයා නග්න උඩු කයේ පසෙකින් එල්ලාගෙන සිටි සාලුව අතට ගත්තේය. ඔහුට දැන් ඉස්සර මෙන් බැරිය . පොඩ්ඩ ඇත්තන් හතිය පටන් ගනී. ගිනි පූටක අව්ව අතින් මුවා කරමින් ඇස් හීනි කරගනිමින් වැව් කන්ඩිය කෙළවර දිහා බලාගෙන ඉනේනෙද රතු රිදී මතු වේදෝයි කියාය. පොඩි රෙදි පොට්ටනිය එල්ලාගත් ඈ අඩිය ඉක්මන් කරමින් එන්නෙ මාර ගහ දිහා බලාගත්වනමයි. වැක්කෙරෙන දාඩිය බිංදු සාලුවෙන් පිසදූ හේනයා බැලුවෙ වැව දිහායි.
"වැවේ වතුර එන්න එන්නම හිදිලා යනවා"
නිල් තලේට තිබූ ආකාසෙ දිහා බැලූ හේනයා හිතුවෙ හරියට යාදින්නක් වගේය. මුලු අහසම බූදලේ කරගෙන වේගෙන් එහෙ මෙහෙ පියාඹලා යන කුරුළු රෑන් කෑගැහුවෙ වීරඹු හේනයාට සමච්චලේට මෙනි.
"වලාකුලක්වත් නැති ආකසෙම උබලගෙ තනි සම්බුදිය තමා.. උබලටනම් හොදයි. මේ තුලාන යාදෙන්නැත්තන් උඩහට... අපිට තටු වනන්න පුලුවනෑ බොලව්.."
"මොකදැ නැවතුනේ.. හතිද? " රතු රිදීගෙ හඩින් ඔහුගේ දැහැන බිදුණි.
"බෙල්ල පැත්තක් ඇදුන් කනවා.."
" පය ඉක්මන් කරලා යමල්ලා. මද්දහනෙ එනවා කියලයි ලොකු අප්පොට මං කිව්වෙ. ඉර හැරන්නත් පටන් අරන්."
නැවතත් රෙදි පොට්ටනිය ඔලුව උඩ තියාගත් හේනයා ඉස්සර උනි.

"ලොකු අප්පො දවල් වේල සප්පායම් වෙලා වලව්වෙ ඉස්සරභ බක්කන් ඇදි පුටුවෙ විවේකෙන් ඇති. බාගදා උන්නාසෙගෙ සද්දන්ත සරීරෙ පුටුවෙ ඇල කරගෙන , අතින් රැවුල කරකව කරකව කඩුල්ල ගාවින් එහෙ මෙහෙ යන උන් දිහා බලන් ඇති. "
හේනයගෙ සිතට පෙර ප්‍රශ්නෙම නැගිණි.
"ඇහුනද....ලොකු අප්පො කොල්ලා ගැන අහයි නේද?"
රතු රිදීගෙන් කිසුදු හාවක් හූවක් නැත.උන්දැ බිම බලාගත්වනම ඔහු පසුපස ගාටයි.
"ඉන්තේරුවෙම්ම අහයි. ලොකු අප්පො අහාවි වීරඹුවෝ මොකෝ කොල්ලා කරගත්තෙ කියලා"
තම යටි සිත කෑ ගසනු ඔහුට ඇසෙයි.එවිට දහඩිය මුගුරු වෑහෙන ඔහුගේ මුහුණ ආඩම්බරයෙන් ඉලිප්පෙයි. රාත්‍රී කනාටු ලාම්පු එලියෙන්ද මෙලෙසම කොල්ලගෙ මුහුණ දිලිසුන බව ඔහුට මතක් උනේය.
"උඹලට මොනාද ඕනෑ"
ඔහු සමරාගෙ හිස අතගාමින් ඇසුවේය
"සපත්තු දෙකක්නම් හොදයි ඉතින් "
කොල්ලා කිව්වෙ සිනහවක් මැද්දේය.
"අරන් දෙන්න ඕනෙ හොද සපත්තු දෙකක්. හොද අගේ ඇති රට අඩි, කලු සපත්තු දෙකක් හොදයි. සුදුවා විගහින් ජරා වෙනවා. පහළොවක් ගියත් කමක් නෑ..බෙලෙක්කෙ රුපියල් විස්සක් මං ඉතුරු කරලා තියෙනවා කියලා කොල්ලා ගණන් කරලා කිව්වා. පහළොව වෙන්න තව කොච්චරක් ඕනෙද කියලා කොල්ලගෙන් අහගන්න ඕනෙ.උට ගණන් කරන්න පුලුවන්. ඌ ගණන් දන්නවා දස්සයා."
ඔහුගේ සිත එකම සිතිවිලි දහරාවකි.
"පහළොවට හොද කුට්ටම් තියෙයිද..බාල සපත්තු නිසා සමරාටත් දුවාගන්න බැරි වෙයි. මයෙ එකාට තටු වනන්න බෑ. හැබැයි උට දුවන්න පුලුවන් පනින්න පුලුවන්. ඔව්... මේ වැවෙන් එහාපැත්තට උනත් ඌ පනි එක පිම්මට."
හතේ කැලෑසියේදි සුදු අප්පො පාසලෙහි ධාවන තරගයෙන් දෙවන ස්ථානය ලබාගත්තේය. සමරා ප්‍රථමස්ථානයට පැමිණියේය.
" සුදු අප්පොගෙ සපත්තුව ගැල උන හින්දා පහු උනා කියලා ලොකු අප්පො කිව්වෙ. නැත්තන් ඉතින් කොහෙද මයෙ එකා දිනන්නෙ. සමරාත් හැබැයි සුදු අප්පො තරම්ම දස්ස ඇති."

වීරඹු හේනයා ගැස්සී ගියේ පාපයක් කෙරූවෙකු පරිද්දෙනි.මොහොතක් ඔහු රතු රිදී වෙත කන් යොමා සිටියේ තමා සිතූ දේ ඇයට නෑසුනු බව සැක හැර දැනගැනීමටය. ඈට ඇසුණිනම් නිසැකවම තමා පවු කාරයෙක් බව ඈ සිතනු ඇත.
"අපේ උන් කොහොමද වලව්වෙ ඈයින්ට සම කොරන්නෙ"
ප්‍රථමස්ථානය ලත් සමරාට විශේශ ත්‍යාගයක් ලැබුණි. එතෙක් පන්තියෙන් පිට බිම හිදගෙන පාඩම් ඉගෙනගත් ඔහුට සුමානයක් යනතුරු එයද තහනම් විය. මුල් ගුරුතුමා සමග ලොකු අප්පො සිනහා වෙවී කතාබස් කොට ගියදාට පසුදා සුදු අප්පොට ප්‍රථම ස්ථානය සදහා වන ත්‍යාගය හිමි විය. එයද අලුත් රට අඩි සපත්තු දෙකකි.
" සුදු අප්පොට උන අලකලංචිය නිසා ලොකු ස්කෝල මහත්තුරු හොද සපත්තු දෙකක් දෙන්නැති. සමරාටත් එහෙම රට අඩි සපත්තු දෙකක් දෙන්න ඕනෑ"
වීරඹු හේනයාගෙ පාවහන් රහිත පාද කඩිසර ගමනින් බොරලු පාර දිගේ ඇදෙයි. වසර ගණනාවක් පුරාවට මේ මාවතෙහිම ඔහුගේත් රතු රිදීගෙත් නිරුවත් පා සටහන් ලකුණු වී ඇත්තේය. ගල් බොරලු එරමිණිය කටු ගාල් පෙරත් ඔහුට බාධාවක් නොවුනි. ආසවෙන් පුපුරු ගහන ඔහුගේ හිත නවතන්න හිත් පිත් නැති කටු ගාලකට අදනම් කෙසේවත් බැරිය.
"ඇහුනද.... ලොකු මැණිකෙත් සමරා ගැන අහයි නේද? "
එකම ප්‍රශ්නෙ නැවතත්. සවස් වරුවේ පටන් වරින් වර රතු රිදීගෙන් සිය වතාවක් පමණ අහපු එකම ප්‍රශ්නෙ මෙයයි. ඈ නිහඩව සිටී. ඇයට මෙවැනි බැරැරුම් දෑ ඔරොත්තු දෙන්නේද නැත. ඇරත් ඈ වලව්වෙ ඇත්තන්ට දැඩි බියක් දක්වයි. වරක් වීරඹු හේනයා හා රතු රිදී වලව්වේ වාර්ෂික පිරිත් පිංකමට සම්මාදන් වූයේ කඩුල්ලට මදක් එහායින් බිම ඇන තියාගෙනය. දොහොත් මුදුන් දී සාධුකාර දී නැවත ගෙදර යන අතරේ වීරඹුවා මහත් සොම්නසින් යුතුව පිංකම ගැන කථාකළේය.
" උබලා දන්නවද රුවන්මැලි මහ සෑ හාමුදුරුවන්ට ධාතුන්නාසෙලා නිධන් කරන්න ගත්තු හැටි?.. හාමුදුරුවො නාග රාජයාගෙ ගිරිය අස්සෙන් අත දාලලු ධාතුන්නාසේලා ගත්තෙ. ඒ වගේ යක්කු , නාගයො බලන් ඉන්නවා ධාතූන්නාසේලා ගන්න. උන්ට නොදී වඩම්මවන්න පුලුවන් වලව්වෙ ලොකු අප්පො වගේ මහා බලවන්ත තේජවන්ත උත්තමයෙකුට විතරයි."
එතැන් පටන් රතු රිදී මහා බලසම්පන්න වලව්වෙ ඈයින් ගැන කථා කිරීමට, ගතු කීමට බිය විය. ඇයට අනුව වීරඹු හේනයා හැම දේම දනී.මහා නුවණැත්තෙකි. ඔහු කථාවක් කීමට පටන් ගත් විට එයට කොහෙන් හෝ අහුලාගත් බණ කථාවක්ද ගැට ගහයි. වීරඹු හේනයාට අනුව නොපෙනෙන මහා බලයක් ආලෝකයක් සහිත තවත් කීපදෙනෙකු ගමේ වෙසෙයි. බස්නායක නිළමෙ හාමුදුරුවො , විදානෙ ඇත්තො , උලු ගෙදර පෙරකදෝරු මහත්තයා ඉන් කිහිප දෙනෙකි.
එයිනුත් මහා බලයක් ඇත්තෙ උලු ගෙදර පෙරකදෝරු තැනටය. වීරඹුවා දෙවිවරු කීප පලක් ගැනම දනී. ගොම්මන් වෙලාව වන විට ගෙමිදුලේ ඇති පහන් පැල නොවරදවාම දල්වයි. සමන් දෙයි හාමුදුරුවන් , කතරගම දේවතාවුන්නාසෙ , කඩවර අප්පච්චි පමණක් නොව ඔහු සක් දෙවිදු ගැනද තරමක් දනී. එහෙත් ඔහු කිසිදු දෙව් කෙනෙකු හැබැහින් දැක නැත. ඔහු හැබැහින් දැක ඇති එකම දෙවියන් වූයේ උලු ගෙදර පෙරකදෝරු මහත්තයා පමණි.
වීරඹු හේනයා බොහෝ උපදෙස් අනුශාසනා ගන්නේ පෙරකදෝරු මහත්තයගෙනි. ඔහුට පමණක් නොව සමරාටද මග පෙන්වමින් ගුරු හරුකම් දෙන්නෙ පෙරකදෝරු මහත්තයයි.
දැනට අවුරුද්දකට පමණ පෙර සමරා බෙහෙවින් වෙනස් තත්වයක සිටියේය. හවස් ජාමෙ වෙනකොට සමරාට හරි හරියට පාසල් වැඩ කටයුතු වැටෙයි. නිතරම පාසලේ ගැටවර කොල්ලො සමග කල්ලියෙ යයි. කල් යන විට සමරා ගෙදර ඇවිත් ආවේගයෙන් පැහැදිලි කරන දෑ රතු රිදීට පමණක් නොව වීරඹු හේනයාටද අපබ්රංසය. සමරා ගෙදර ඇවිත් ආදායම් බෙදී යාමෙ විශමතාවයක් ගැන පැහැදිලි කරයි. පංති භේදයක් ගැන දොඩවයි. ධනපති පංතියෙ තාඩන පීඩන ගැන විස්තර කරයි. වීරඹු හේනයා දන්න පංතියක් නැත. සමරා ගමේ කොහු පැට්ටේරියෙ කොලු නාල්ල අල්ලගෙන වර්ජනයක් මෙහෙයවපු දා වීරඹු හේනයාට සියල්ල වැටහිණි. නමුත් ප්‍රමාද වැඩිය. පොලීසියෙන් පැමිණ සමරාත් , කෑ ගහපු ගණන් කාරයො කීප දෙනෙකුත් ජීප් රථයට නංවාගෙන විදුලි වේගයෙන් ගියේ වීරඹුවා යමක් හිතන්නටත් පෙරය.

දස අතේ ගිනිගත් වීරඹු හේනයාගෙ පිහිටට සිටියේ පෙරකදෝරු මහත්තයා පමණි. හිටි පයින්ම උලු ගෙදර බලා දිවූ ඔහු කඩුල්ලේ සිටම කෑගෑවේය.
"අනෙ , මගේ කොල්ලා පොලෝසියේ මහතැන් කුදලගෙන ගියා පිං ඇති මහත්තයෝ. ඌ ගමේ චේගුරා කල්ලියට එකතු වෙලා. ඒකා ඕවා තේරුම්ගන්න තරම් මෝරලා නෑ හාන්දුරුවනේ. මොකෙක්ගෙ හරි ඉගෙන්නුම් බහකට කරන්න ඇත්තෙ. බුදු බව අත්වෙයි මහත්තයෝ මගේ එකාව බේරලා දෙන්න."
කඩුල්ලවත් නොපැන තුනට හතරට නැවී ඇකිළී රවුම් නළියන ඇස් ගුලි වලින් බලා ආයාචනා කරන වීරඹු හේනයා දුටු පෙරකදෝරු තැනගේ හිත උණු විය.
"දැන් වීරඹුගෙදර උන්නැහේ ගෙදර යන්න. මම ගිහින් කතා කරන්නම්. අපේ එකා රණ්ඩු සරුවල් කරලා කඩලා බිදලා දාන එකෙක් නෙවෙයිනෙ. මං පණිවිඩයක් එවන්නම්. එතකන් කලබල නොවි ඉන්න"
පෙරකදෝරු තැන ඔහුගේ සිතට සවියක් විය.
එදා වීරඹු හේනයාගෙ පැල් කොටේ එකම මළගෙයක් මෙනි. ගොම්මන වැඩි වෙන්න වැඩි වෙන්න රතු රිදීගෙ අඩෝවැඩියාවද වැඩි වෙයි.
"කටවහගෙන හිටපල්ලා .. මෙතන එකෙක් මළේ නෑනෙ..පෙරකදෝරු උත්තමයා දන්නවා මොකද්ද කරන්න ඕනෙ කියලා. ඒ මහත්තයා ගිහින් පොලෝසියෙ මහතැන්ට කතා කරයි. බාගදා අබ්බකාද් උන්නාසෙවත් හම්බෙන්න බැරි නෑ. හම්බෙලා අපේ එකා ගොනා මෝඩයා කියලා උන්නාසෙට තේරුම්කරලා දීලා ගෙදර එක්කගෙන එයි."
පසුදා උදයේම වීරඹු හේනයා පොලිස් ස්ථානය බලා ගියේ පෙරකදෝරු තැනගේ පණිවිඩයක් අනුවය.
"මීට පස්සෙ මොකක් හරි ප්‍රශ්නයක් කියලා දැනුන ගමන්ම මාව හොයාගෙන එන්න ඕනෑ.. තේරුනාද වීරඹුගෙදර උන්නැහෙට"
වීරඹුවා අසා සිටියේ වැදගනමය.
"ඉළන්දාරියා.. සමාජ ක්‍රමය වෙනස් කරන්න කලින් මුලින් තමුන් වෙනස් වෙලා ඉන්නවා. මුලින් ඉගෙනගෙන ඉන්නවා. ඊටපස්සෙ තමුන්ට පුලුවන් ඔය කියන යාන්ත්‍රණය බිදින්න. එක එකා කියන පලියට බෝඩ් කෑලි උස්සන්න , කෑගහන්න යන්න එපා. ඒවගෙන් විතරක් යාන්ත්‍රණය වෙනස් වෙන්නෑ. තමුන්ට සමාජවාදයක් ගේන්න ඕන්නම් තමුන් ඉගෙනගෙන රටේ මිනිස්සුන්ගෙ හදගැස්ම ගැන අධ්‍යනය කරනවා. ඒක තමා අපේ රටේ සමාජවාදය වෙන්න ඕනෙ.තේරුනාද තමුන්ට "
සමරා බිම බලාගත්වනම සිටියේය. ලියකියවිලි කිහිපයකට වීරඹු හේනයාගෙ කන අත්සන ගත් පසු , පෙරකදෝරු තැන තඩිස්සි වී සිටි සමරාව හේනයාට බාර දුනි.
"පෙරකදෝරු උත්තමයා නිසා මූ බේරුණා.. කොච්චර සිල්වන්ත ගුණවන්ත උත්තමයෙක්ද? බලාපල්ලකො කිසිම අහංකාරයක් නැතුව උන්නැහේ කියලා කතාකරන අපූරුව. උබලා දන්නවද උන්නාසෙ දේව ආත්මයකට යන්න පෙරුම් පුරණ උත්තමයෙක්. උබලා දැක්කෙ නැද්ද ඒ උත්තමයා අපේ පැල් කොටේට ඇවිත් අපේ පුටුවල ඉදගන්නවා , අපේ පිගන් කෝප්පවල කනවා බොනවා. බණ කතාවල වගේ පාරමිතා පුරණ අපූරුව දැක්කද? "
එතැන් පටන් වීරඹු හේනයාට හා රතු රිදීට උලුගෙදර පෙරකදෝරු උන්නැහෙ දෙවියෙකි.
ලොකු අප්පො හිස් බැල්මෙන් යුතුව හාන්සිපුටුවට බර දී කඩුල්ල දිහා බලා සිටී. කඩුල්ල මුල රෙදි පොට්ටනිය බිම තැබූ වීරඹු හේනයා කරේ සාලුව ගෙන ඉනේ බැදගත්තේය. නැවත රෙදි පොට්ටනිය හිස මත තබාගෙන බාගෙට දෙකට නැවීගෙනම වලව් වත්තට ඇතුලු විය.

ලොකු අප්පොගෙ බැල්ම මග හැර පිළිකන්න දෙසට යන විට තව තවත් ඇකිලෙන්නට විය. ලොකු අප්පො ආසන්නයෙ සිටින විට වීරඹුවාට මුලු ලොවම ඇකිලෙනවා සේ දැනෙයි. වීරඹුවාට පිටුපසින් ඔලුව නවාගත්වනම රතු රිදී ගාටයි.
නාමය පරිදිම පැහැපත් රතුවන් සමක් ඇති රතු රිදීගේ සිහින් ඇග පසග දෙස ලොකු අප්පො බලා සිටින්නෙ ඔරවාගෙනය. ලොකු අප්පො රතු රිදී සමග සිනහ වන්නේ නැත. අවසාන වතාවට රතු රිදී සමග ලොකු අප්පො සිනාසුනේ වලව්වෙ සුදු මැණිකෙගෙ කොටහලු මගුල දා පිළිකන්න පිටුපසදීය.
" මේ අහපන්.. වීරඹුවා දැන් නාකි මිනිහා. උබට මං මොනවයින් අඩු කරනවා කියලද , උබට හැට්ටයක් කම්බායක් විතරක් නෙවෙයි ඕනෙ දෙයක් මගෙන් ඉල්ලපන්. මං උබට කියන්නෑ අර නාකියව ඇතෑරපන් කියලා. "
ලොකු අප්පෝ ගත කොටුකරගත් සේම රතු රිදීගෙ සිතද කොටු කරගන්නට වෑයම් කළේය.
" තරහ අවසර ලොකු අප්පො.. නාකි උනත් මගෙ මිනිහා මට රත්තරන් හාන්දුරුවනෙ"
" හහ්.. උබේ ගණන් මටද පෙන්නන්නෙ. තෝ දැනගනින් ඒ කාලෙ තොගෙ කිරි අම්මලා මහ වාසල අණින් හැට්ටයක්වත් ඇන්දෙ නැති වග " ලොකු අප්පො දත්මිටි කමින් පැවසුවෙ පිටුපා යන රතු රිදීටය.
ලොකු අප්පොට රතු රිදී වහ කදුරු සේය. නමුත් ඈ තාම සිතන්නෙ එතරම් බලවන්තයෙකුට එදිරි වන්න එදා තමන්ට හයිය හත්තිය ආවෙ කොහෙන්ද කියාය.
"උඹ ආවද වීරඹුවෝ.. මං හිතුවෙ උබලා මීට කලින් ඒවි කියලා"
"ඩිංගක් සුනංගු උනා අපෙ මැණිකෙ" වීරඹු හේනයා තම රෙදි පොට්ටනිය පිලිකන්නෙ පඩිය මත ලිහමින් පැවසුවේය. සෝදා ස්තිරික්ක කොට නවා ඇති රෙදි පෙරෙදි කාගෙ කාගෙදැයි දන්නෙ වීරඹු හේනයා පමණකි.
කේඩෑරී වී නහරවැල් ඉලිප්පෙන සේ දෙකට නැවී රෙදි තෝරන වීරඹුවා දෙස බලන මැණිකේ, "ඇස් ඇස් සී ප්‍රථිඵල ආවා නේද ? " කියා සෙමෙන් ඇසුවේය.
"ඒ කිව්වෙ අපෙ මැණිකෙ"
"ඒ කිව්වෙ බං මහ විභාගෙ ප්‍රථිඵල පිට උනා නේද? සමරා කොහොමද? ඌ සමත් නේද? "
වීරඹුවාගෙ සතුට දෝරගලන්නට විය. සමරාගෙ හපන්කම වලව්වෙ ඇත්තටන්ට කියන්න කොපණ වෙලා පෙරුම් පිරුවද? සමරා කලිසම් කොටයක්වත් අදින්නැති කාලෙ තම අප්පොච්චිගෙන් වලව්වෙ රෙදි ඇපිල්ලීමේ උතුම් කාර්ය භාරගත් වීරඹුවා ඊයේ පටන් උත්තර බැදගත්තෙ මේ ප්‍රශ්නෙට නොවේද?
"දෙයි හාංදුරුවන්ට පිං සිද්ධ වෙන්න ඌ ඉහළින්ම සමත් අපෙ මැණිකෙ. ඊයෙ පෙරකදෝරු ඇත්තො ප්‍රථිඵල කියන්න සමරාට අලුත් කමිසයක් කලිසමක් අරන් ගෙදරටම ආවා. උට ගණදෙවි නුවණ තියනවා කියලා පෙරකදෝරු මහත්තයා කියන්නෙ. උගෙ පෙනුම අපේ වගේ උනාට ඌ කොහොමත් මං වගේවත් උන්නෙ අම්මා වගේවත් නෙවෙයි අපෙ මැණිකෙ. "
වීරඹුවාගෙ කටට නිවනක් නැත..පෙර දින සිටම සකසා ගත් හෑල්ල කියාගෙන කියාගෙන ගියේය.
" සමරා දස්සයා බං. උට හොදට උගන්නපල්ලා. ඒ වෙනුවෙන් මැරෙන්න උනොත් මැරියල්ලා. මොකද කවදහරි ඌ උබලව විතරක් නෙවෙයි අපිවත් ගලවගන්න දවසක් එයි. "
මැණිකෙ කියන දේ වීරඹුවාට තේරෙන්නේ නැත. එහෙත් කම් නැත. ඇය සමරා ගැන ඇසුවාය. සමරාගෙ පුංචි සන්දියේ ඉදන්ම මැණිකෙ කොහොමත් සමරාට ලෙංගතුය.
" වීරඹුවො මේක තියාගනින්. කොල්ලට මොනාහරි අරන් දීපන් "
මැණිකේ හතරට පහට නවන ලද පනහෙ කොලයක් වීරඹුවා අත තැබීය. වීරඹුවා පනහෙ කොළයටත් වඩා ගුලිවී වමතින් දකුණතේ මැණික් කටුව අල්ලගෙන දෝතින්ම පනහෙ කොළේ ගත්තේය. බැලූ බැල්මට ලොකු සල්ලි කොළයකි.
"තොපි ආවද.. අන්න ඇපිල්ලුන් කුලියට දුරු මිරිස් කරවලයි පොල් බෑයකුයි දාපු මල්ලක් හදලා තියෙනවා ඒක ගනින්. මට සුදු පිරුවට ටික හෝදලා ලෑස්ති කරගන්නත් ඕනෙ.. " පිළිකන්නෙ පඩිය ගාවට පැමිණි ලොකු අප්පොගෙ කට හඩ ගෙයින් මිදුලට පැන වටපිටාවෙත් පැතිරෙන තරම් ය.
"එහෙමයි එහෙමයි අපෙ අප්පො" වීරඹුවා ඊට වඩා දන්නා දෙයක් නැත. රතු රිදී ගල් ගිල්ලා සේ අසාගෙන සිටියේය.
"සුදු අප්පො දැන් කොළඹ ලොකු ඉංගිරීසි කොලීජියකට යවන්න හදන්නෙ. මෙව්වගෙ අධ්‍යාපනය කිසි කමකට නෑ. ඊට කළියෙන් සුදු අප්පොට සෙත් පතලා පිරිත් පිංකමක් තියන්නයි මගෙ සූජානම." ලොකු අප්පො සමරා ගැන ඇසුවේ නැත. ඊට කම් නැත. මන්ද වීරඹුවාගෙ සිතේ ගැහෙන්නෙ අලුත් ආසවක් ය එනම් "පිංකම" පිළිබදවය. ඇස් ඇස් සී ඉහළින් සමත් සමරාවත් පිංකමට සහභාගි කරවන්න ඇත්තන්.
"අනෙ අපෙ සමරා කොලුවටත් සෙතක් සාන්තියක් වෙන්න , පුලුවන්නම් මෙන්න මේ සල්ලි කොළේ අපි ගැන අනුකම්පාවෙන් බාරගන්න හාන්දුරුවනේ" සිතේ තැන තැන ලෑටි ගගා තිබූ සියලුම දහිරිය එකට එකතු කරගත් වීරඹුවා පැවසීය.
"අහකට ගනිල්ලා තොපේ ඔය වහන්තුරා. තොපි හදන්නෙ ඒ පිංකමට තොපේ කිලි එකතු කරන්නද? "
මැණිකෙ තමන් අතට දුන් පනහෙ කොළේ තමන්ගෙ දහදිය ගෑවුනු පසු කිල්ලක් වන්නේ කෙසේද කියා වීරඹු හේනයා දන්නේ නැත. ඔහුට දැනගන්න උවමනාවක්ද නැත. ඔහුට දැනගන්න උවමනා එකම දේ "මේ ලොකු සල්ලි කොලෙත් බෙලෙක්කෙට දැමූ පසු තව කීයක් පහළොව වෙන්න උවමනාද " යන්න පමණි.