රතුපාට හැන්දෑව

Blogged Bliss Sep 17, 2025

හැමදාම හැන්දෑවෙ සුදු පාට ඇඳගත්තු

අවුල් වුන මුත් කොණ්ඩෙ මුදුන් කර බැඳ ගත්තු

සයිඩ් බෑගයෙ පිටින් ඇඟිළි තුඩු හංගාපු

බස් නැවතුමක රෑ ම හිත පහන් කරවාපු

රතු පාට තොල් අගට ලා රෝස මුසු වෙච්ච

නොවී බැරි කමට මද සිනහවෙන් රත් වෙච්ච

හිටි ගමන් ඇස් අගින් හොරාවට නැටවෙච්ච

ඇය තමයි පුර හඳේ රත් පැහැය ගිලගත්ත

තරු අතර හිත ගත්ත සුපුන් සඳ ලෙස ඉන්න

අසනි වැසි මැද තුරුල මට දෙන්න සැනහෙන්න

කඳුළු නියඟෙක දෑස සතුටින්ම ඉතිරෙන්න

කවි දහක පෙම් පඬුරු හිමි එකම ළිය වෙන්න

රතු නෙලුම් පුද වාම දා කරඬු නමදින්න

හීනි පිණි පොද වැස්සෙ වැව රවුමෙ ඇවිදින්න

රෝස මල් පෙති අතුළ තණ පලසෙ වැතිරෙන්න

නුරා බැල්මෙන් පපුවෙ උණුහුමට ළංවෙන්න

පුරුදු සුදු සඳ එළිය නොවෙයි මේ රෑ එන්නෙ

අලුත් හඳ අලුත් හැඟුමන් එක්ක පායන්නෙ

සුන්දරම හෙට දිනක් ගැනයි හිත ළතවෙන්නෙ

සඳලු තලයේ ඉඳන් රතු හඳට මුමුණන්නෙ...

Tags

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.